Wednesday, November 24, 2010

මගේ යාළු සඳේ.....!

සඳේ නුඹ ‍හෙමි හෙමින් පායන අපූරුව....අර ඈත තුරු වඳුල උඩින් පනින්න හදන උඹ හරියට මගේ නෙතඟින් පනින්න හදන කඳුළක් වගේමයි.තව පොඩ්ඩකින් ඒ කඳුළ වැටේවි.උඹ හිතන්න එපා මං අඬනව කියලා..............                  
                           මේ කඳුළු ප්‍රථම ප්‍රේමයේ කියලා මම දන්නවා.ඒත් ඒ අහිංසක ආදරේ දිය කරන්න මේ කඳුළු වලට බෑ.ඉස්සර අපි ගියපු මේ පාරවල්...උණුහුමට ගුලි වෙච්ච අර ගල් බැම්ම...ඊටමත් වැඩිය මේ හැම දෙයක්ම උඹත් හොරෙන් බලාන හිටිය විත්තිය උඹ නොදන්නවා වුනාට මම දන්නවා...............
                    මේ හුළඟ ඒ හුරතල් කටහඬ ආයෙමත් අරන් ඇවිත් මාව අඬවනවා.උඹත් දැනගෙන හිටියද මන්දා...අර ගල් බැම්ම උඩ වාඩි වෙලා ඒ උකුලෙ හිස හොවාන මං ඇඬුවා..එතකොට ඒ පුංචි අතින් මගේ ඔළුව අත ගාන කොට මගේ මූණට පිණි බිංදු වගේ ‍ඒ‍ නෙත් වලින් කඳුළු වැටුණා..අනේ ඇත්තටම ඒවා පිණි කැටම වුණා නම්.......
          ඒ උකුලේ මුණ හංග ගෙන මං හිනාවෙන කොට සිය දහස් වාරයකටත් වඩා ඒ දෙතොල් මාව ඉඹින්න ඇති.ඒ පුංචි මූණ ආයෙම මේ දෝතට අරගන්න...ඉස්සර ‍වගේම උණුහුමය ගුලි වෙන්න...ආයෙ නම් බෑ................
                      කොහේ හිටියත් ඒ ආදරේ මගේ විතරක්ම බව මං දන්නවා.මට අපේ ආදරේ වෙනුවෙන් ටජ්මහල් තනන්න බැරිවෙයි....ඒත් මේ දුප්පත් හිත මං ගානෙ සන්තකේටම තියා ගන්න එයාට දෙන්න මට පුළුවනි.................
             ඉතින් සඳේ..මං නොඑන්නම යන්න යනවා.එයා හෙට ආවම උඹ වෙනද වගේම ලස්සනට ඒ හිත හදපන්..මං ගැන මතක් වෙන්න ඒ හිතට ඉඩ තියන්නෙපා.මං ඉන්න තැනකට ඒ සුවඳ ගෙනත් තියලා පලයන් " සුළඟ "...මගේ යාළුවේ...............
                        උඹ හිතන්නෙපා ඒක මට දුකක් කියලා.උඹ හිතන්නෙ මං ඒ කෙල්ල මතක් වෙනවට කැමති නෑ කියලද ?...........

 
 තුරු වඳුල උඩින් නිල් වලා පෙලේ
ඉඩ දියන් සඳට දැක ගන්න ඇගේ වත
මද සුළං පොදේ නුඹ පැන යන්න හිමින් අද
කලතන්න එපා වැව සනසන්න මගේ සිත

හෙට යළිත් ඒවි ඇය විමසන්න එපා නුඹ
මා කොහිද ඇගෙන් විමසන්න එපා නුඹ
නෙත කඳුළු ඇතොත් හෙට සනසන්න ඇගේ සිත
පවසන්න සුළඟ නුඹ සැනසෙන්න ඔහුගෙ ළඟ

මා යළිත් නොඑන මේ ඉවුර ළඟට හෙට
පායන්න සඳේ මධු සඳක් වෙලා හෙට
මද සුළඟ ඉතින් හෙට සරසන්න නුරා සඳ
නළවන්නෙ කෙසේ මම නොහඬා හඬන මගේ සිත

5 comments:

  1. අනේ මන්දා යාළු........? හිත හදාගෙන ඉන්නවා හැර වෙන ඉතින් විකල්පයක් නෑ

    ReplyDelete
  2. " උඹ හිතන්නෙ මං ඒ කෙල්ල මතක් වෙනවට කැමති නෑ කියලද ?"

    දෙවියනේ මේක කියෙවුවහම මට නම් කොහොමටවත් හිතෙන්නේ නැ උබ මේ කෙල්ල අමතක කරවී කියල කවදාවත්....!
    කොහොමටත් උඹ යන්නම යනවා කියල කියපු එකට නම් මං එකග නෑ....මම නම් මැරෙනකල් ට්‍රයි කරනවා...
    මොකද මං දන්නවා කවද හරි උඹව ඔය සහෝදරීට මතක් වෙනවා කියල...

    ReplyDelete
  3. @ ayesha..
    @ mhasantha...
    නෑ යාළුවනේ නෑ....මේ මගේ හිතට ආව අදහසක් විතරයි...මං පොඩිකාලෙ ඉදලා කෙනෙකුට ආදරේ කළා..අවුරුදු ගානක්...ඒත් ඒක මට වුන වැරදීමක්..මම හිත හදාගෙන දැන් ඉන්නෙ..මේ ලියපු එකේ වගේ රත්තරං කෙල්ලෙක් මට ඉන්නව නම් මං ඒකිව කාටවත් දෙන්නෙ නෑ..පණ වගේ බලා ගන්නවා..ගොඩක් ආදරෙන්..එහෙම කෙනෙක් හම්බ වෙනකම් මං බලාන ඉන්නවා විතරයි දැන්.හැබැයි මේ ලියන ගොඩක් දේවල් මං අර තනියම කරපු ආදරෙන් ලැබුන දුක තමයි.

    ReplyDelete
  4. කොහොමද මචෝ මහා විශාල හැඟීම් ගොඩක් මේ තරම් ඉක්මනට අපේ හිත් වලට එබ්බුවේ? ඇත්තටම සිරා බං. වචන නෑ මට ඒක ගැන කියන්න. ලස්සනයි මචං සුපිරි.

    ReplyDelete
  5. අනේ මන්ද යාලු.හිත හදාගන්න බලන්න.මොනවා උනත් ලස්සන නිර්මානයක්

    ReplyDelete

තරු අහසට ඔයා සඳක් වගේ පායලා ආ එක කොයිතරම් දෙයක්ද?ඒත් සඳක් වගේ හොරෙන්ම බැස යන්න එපා.ඔය ලස්සන අදහස මට හරි වටිනවා.ඇත්තටම මං ඒකෙන් ලොකු සතුටක් විදිනවා.ඉතින් මොනව හරි ලියන්න කියන මේ දයාබර ආරාධනය ඔයාටමයි.....!